27.5 C
Colombo
September 8, 2025
LIFELIFE NEWSNews

පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියි

පීනස් රෝගී තත්ත්වය ගැන මීට පෙරත් මෙවැනිම ලිපියකින් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් පීනස ගැන කිව යුතු කරුණු සමාජය දැනගත යුතු කරුණු  තවත් බොහෝ බැවින් ඒ ගැන තවදුරටත් සොයා බලමු.
කිවිසුම් යාම හිසේ බර ගතිය, නාසය හිරවීම, සොටු දියර ගැලීම, ඇස කන නාසය කැසීම වැනි රෝග  ලක්ෂණ පීනස් රෝගී ලක්ෂණ වුවද මෙවැනි ලක්ෂණ තිබෙන කෙනෙකු තමන්ට තිබෙන්නේ පීනසම යැයි විනිශ්චයකට ඒම කිසිසේත්ම සුදුසු නැත. 

සමාජයේ අපට හමුවන සමහර අය තමන්ම රෝගය හඳුනාගෙන ඒ ආශ්‍රිත ප්‍රතිකාරවලට යොමුවන ආකාරයක් දැකිය හැක. නමුත් මේ පීනස් රෝගී ලක්ෂණම, ඔබ නොසිතන ආකාරයේ වෙනත් රෝගයක් නිසා හටගන්නටද පිළිවන. නාසයේ ඇතිවන ආසාදන, ඉදිමීම්, විකෘතිතා, මස් දලු ලියලීම්, පිළිකා වැනි රෝග නිසාද මේ ආකාරයේම රෝග ලක්ෂණ හටගැනීමට බොහෝ ඉඩකඩ තිබේ. එබැවින් නිවැරදිව රෝගය හඳුනාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය වෙයි. 

පීනස කරදරකාරී රෝගී තත්ත්වයක් වන නමුත් එය මුළුමනින්ම පාලනය කළ හැකි ප්‍රතිකාර තිබේ. මෙය ජාන හරහා උරුමවන්නක් බැවින් රෝගය වරින් වර මතුවිය හැකි නිසා පාලනයට සේම නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහාද ප්‍රතිකාර අවශ්‍ය වෙයි. 

පීනස මතුවීම වැළැක්වීම සඳහා නාසයට දමන දියර බිංදු හෝ විසිරණ ලෙස ලබාදෙන ස්ටීරොයිඩ වර්ග තිබේ. මේවා පෙති වශයෙන්ද ලබාගත හැකි නමුදු ඉක්මනින් ක්‍රියාත්මකව සහනය සලසන්නේ බිංදු සහ විසිරණ වර්ගයන්ය. එසේම මේවා පෙති ලෙස ලබාගැනීමේදී අතුරු ආබාධ වැඩිය. මේ ප්‍රතිකාර දීර්ඝකාලීනව ලබාගත යුතු බැවින් පෙති ලෙස ලබාගැනීම එතරම් සුදුසු නැත. 

දිනපතා පාවිච්චි කළ යුතු බැවින්ද නාසයට දමන බිංදු සහ විසිරණ ආකාරයෙන් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙයි. මේවායේ අතුරු ආබාධ ද ඉතාම අල්පය. 

රෝග ලක්ෂණ පාලනය කිරීමට සේම කලාතුරකින් ඇතිවන පීනස පාලනයට ඉක්මන් සහනයක් ලබාගැනීමට ‘ප්‍රතිහිස්ටැමින’  වර්ග භාවිත කෙරේ. මේවාද පෙති ලෙස සේම ඉසින ඖෂධ ලෙස ලබාගත හැකිය. රෝග ලක්ෂණ අඩුකරන්නට ලබාදෙන තවත් ඖෂධ කාණ්ඩයක් වන ප්‍රති ලියූකොට්‍රින  ලබා දෙන්නේ තවත් ඖෂධ වර්ගයක් සමගය. 

නාසයේ සිරවීම අඩුකිරීම සඳහා Nasal Decongestants භාවිත කරන නමුත් නිතර නිතර භාවිතය නම් කිසිසේත්ම සුදුසු නැත. අධික ලෙස නාසය සිරවී හුස්ම ගැනීම අපහසු අවස්ථාවලදී පමණක් මේවා භාවිත කෙරේ. 

පීනස් තත්ත්වය වළක්වා ගැනීමට සේම හොඳින් පාලනයටද ඖෂධ තිබෙන නමුදු එවැනි රෝගියෙකුට කළ හැකි හොඳම දෙය නම් තමන් අසාත්මික වන්නේ කුමන කාරණයට දැයි නිශ්චිතව දැනගෙන ඊට නිරාවරණය නොවී සිටීමය. 

විශේෂයෙන්ම දුහුවිලිවලින් ඈත්ව සිටීමට කටයුතු කිරීමත් අතිශයින් වැදගත්ය. එසේම පීනස් රෝග ලක්ෂණ මතුවූ විටෙක පිරිසිදු වියළි ‍ලේන්සුවක් භාවිතාවට හුරුවීමත් එපමණටම වැදගත් වෙයි. 

Related posts

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Shiran Viraj

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

Shiran Viraj

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

Shiran Viraj