27 C
Colombo
July 27, 2025
NewsSportsSports News

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට අවවාදාත්මක ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊමේල් පණිවුඩයක් මගින් මෙම ලිපිය යොමු කර ඇති බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇෂ්ලි ද සිල්වා සහ අසන්ත ද මෙල් යන මහත්වරු පසුගිය ඉරිදා (16දා) පෙරවරුවේ මෙම සිද්ධිය පිළිබඳව දුරකථනයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති බවද කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි සිද්ධියක් නැවත නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ පිළිබඳව නායකයා ඇතුළු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් දැනුවත් කරන ලෙසත් එම ලිපියේ සඳහන් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 87කින් පරාජය වීමෙන් පසුව මාධ්‍ය හමුවට නායක දිමුත් කරුණාරත්න හෝ හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට සහභාගි වන ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මාධ්‍ය අංශයේ නිලධාරියා ආරාධනා කිරීමෙන් පසුව එම දෙපළම සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ.

එහිදී දිමුත් තමන් දැඩි වෙහෙසට පත්ව සිටීම නිසා සහභාගි වීමට නොහැකි බව පවසා ඇති බවත්, මැතිව්ස් මාධ්‍ය හමුවට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් තරගයකදී සාමාන්‍ය ක‍්‍රියාපරිපාටිය අනුව මාධ්‍ය හමුව සඳහා ක‍්‍රීඩකයකු නම් කිරීම සහ සහභාගි කරවීම කළමණාකරුගේ වගකීමක් වන අතර බොහෝ අවස්ථාවලදී ක‍්‍රීඩකයා සමඟ කළමණාකරුද මාධ්‍ය හමුවට සහභාගි වෙති.

ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව අතර පවතින එකඟතාවට අනුව තරගයකට පෙර සහ පසු මාධ්‍ය හමුවට සහභාගි වීම අනිවාර්ය වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඊයේ (17) පස්වරුව දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කිසිදු දැනුම්දීමක් කර නොතිබුණු අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම සිද්ධිය සාකච්ඡා කර විසඳා ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මාධ්‍ය හමුවට සහභාගි නොවීම අනුමත කළ නොහැකි ක‍්‍රියාවක් බවයි.

”තරගයේ තීරණය මොකක් වුණත් මාධ්‍ය හමුවට සහභාගි වීම කළ යුතුයි. අපි ඒ පිළිබඳව මේ වන විට කණ්ඩායම දැනුවත් කර තිබෙනවා. මේක ජාතික කණ්ඩායම ක‍්‍රීඩකයන්ට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ”

”අයි.සී.සී. එක මේ පිළිබඳව තවම අපිව දැනුවත් කර නෑ. අපිව දැනුවත් කළ පසුව ඉදිරි පියවර ගන්නවා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලට ලැබුණු තණතීරු සහ සෙසු පහසුකම් පිළිබඳව සෑහීමට පත් නොවන බව ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතා මීට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණි කර තිබුණි.

මාධ්‍ය හමුවට සහභාගි නොවීම සහ පහසුකම් පිළිබඳ පැමිණිල්ල අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න සැකයට මතු වී ඇති අතර මාධ්‍ය හමුව වර්ජනය කිරීම පහසුකම් ප‍්‍රශ්නයට එකට එක කිරීමක් බවද ඇතැම්හූ පවසති.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාධ්‍ය හමුවට සහභාගි නොවීම පිළිබඳව ඉදිරියේදී පරීක්‍ෂණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එසේ වුවහොත් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට සහ නායක දිමුත් කරුණාරත්න කරුණු දැක්වීමට සිදුවිය හැකි බවත් වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත පිලට එරෙහිව ලීඩ්ස්හි හෙඩින්ලි ක‍්‍රීඩාංගණයේදී 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Shiran Viraj