September 19, 2026
NewsPolitical

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකිය. එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අද (15) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. මෙරට අස්වනු බෙදාහැරීමේ දී ඉන් 40%ක් පමණ විනාශ වේ. මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අස්වනු බෙදාහැරීමේ දී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට ඇති හැකියාව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

රජයට අයත්, වගා නොකළ ඉඩම් හඳුනාගෙන වගාව සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත කඩිනමින් ලබාදීමට පියවරගත යුතුය. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගා කටයුතු සඳහා සූදානමින් සිටි. එම ආයතන ද කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධ කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය.

වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක ඇති අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරිණ. සූර්ය බල විදුලි උත්පාදනයට යොමුවීමෙන් පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ආයතන මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.

ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

රුසියානු මගී යානා අනතුර: 49 දෙනෙකුට දිවි අහිමි වෙයි

Shiran Viraj

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Shiran Viraj