27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බව, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හෙළි කළේය.

ඒ විපක්ෂ නායක කාර්‍යාලයේපැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මුදල් අමාත්‍යංශයේ දත්ත වාර්තා අනුව 2024 මාර්තු මාසය අවසානයේ ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, පසුගියදා පැරිස් සමාජය හා අත්සන් තැබුණු ගිවිසුම සහ ඊට පෙර සිදු කළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මන්ත්‍රීවරයා විසින් මෙහෙදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ඒ අනුව දේශීය ණය අමෙරිකානු ඩොලර් බිලියන 57.3ක්, ද්වීපාර්ශවික ණය අමෙරිකානු ඩොලර් බිලියන 37ක්, බැංකු හා රාජ්‍ය ආයතන හරහා ලබා ගත් ණය අමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් බව පෙන්වා දෙනු ලැබීය. එම සමස්ත විදෙස් ණය ප්‍රමාණයෙන් 23%ක් පමණක් ප්‍රතිව්‍යුහගතකරණය සුබ ආරංචියක් වනුයේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

එපමණක් නොව, අදාළ ගිවිසුම් ප්‍රකාරව අප රටට හිමි වන ණය සහනය කුමක්ද? එම ප්‍රමාණය කොපමණද? ගෙවීමට එකඟ වූ ක්‍රියාවලිය කෙබඳුද? දැනට නොගෙවූ වාරික සඳහා කුමක් කරන්නේද? රටට දැඩි බරක් වන වාණිජ ණය වල තත්වය කුමක්ද? ආදී කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට පවා හෙළිදරව් කර නොමැත. එවන් පසුබිමක ජුලි 2 වැනිදා හෝ 3 වැනිදා පාර්ලිමේන්තු අනුමැතිය ලබා දිය යුත්තේ රටට ඉතා අහිතකර හා රහස් ගණුදෙනුවකට වීම හුදෙක් දේශපාලන ගැටයක් පමණයි. ණයට කමින් බොමින්, තමා සතු සියල්ල විකුණා දැමීම ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක් බවත් එහි අවසානය ඉතා භයානක බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අනතුරු ඇඟවූයේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් මෙන්ම යෝජනාවලියද සම්පූර්ණයෙන්ම වැරදි බවත් එමගින් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ණය සහනය 28%ක් බවත් ඊටද අදාළ පාර්ශව එකඟ නොවූ බව මෙහිදී හෙළි කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ වාර්තා වන ආකාරයට විදේශීය පාර්ශවකරුවන් විසින් අප රටට ලබා දීමට් නියමිත ණය සහනය 7%ක් පමණක් බවයි. ආර්ථික බංකොලොත් භාවයට පත් ආජන්ටිනාව ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් 50% ඉක්මවූ සහන ලබා ගනිද්දී, ඝානාව 37%ක සහන ලබා ගනිද්දී ආණ්ඩුව මේ සිදු කරන්නේ එක් පුද්ගලයකුගේ මැතිවරණ අපේක්ෂකත්වය මත රටේ අනාගතය බිල්ලට දී දේශපාලන වාසියක් ලබා ගැනීමයි.

විදෙස් ණය හිමියන් එතරම් අඩු ණය සහනයක් ලබා දීමට හේතුව ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට ඉදිරිපත් කළ යෝජනාවලියේ දක්වා ඇති කරුණු හේතුවෙනි. අදාළ යෝජනාවලියේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් ආදායම මිස අමෙරිකානු ඩොලර් ආදායම නොවේ. ශ්‍රී ලංකාව අද වන විට රුපියල් ආදායම ඉහළ නංවා ඇත්තේ සාමාන්‍ය ජනතාව මිරිකාගෙන බවත්, රටවැසියා කනබොන දෙයින්, බේත් හේත් වලින්, ජල හා විදුලි බිල් වලින් මෙන්ම උපයා ගන්නා වැටුපෙන් පවා රටට අසාමාන්‍ය රුපියල් ප්‍රමාණයක් ලබා දෙන බවත් එතුමා පැහැදිලි කළේය.

මිලියන 22ක සමස්ත ශ්‍රී ලාංකිකයන්ම එසේ බදු ගෙවද්දී ආජන්ටිනාවට හෝ ඝානාවට හා සමාන ණය සහනයක් ලබා ගන්නට ආණ්ඩුව උත්සාහ නොකර හදිසි වන්නේ ඇයිදැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේ පැහැදිලි කළේය. ඊට එකම හේතුව මැතිවරණය සඳහා ඉදිරිපත් වන එක් පුද්ගලයකුය. එම පුද්ගලයාගේ ප්‍රචාරක ව්‍යාපාරය හා අපේක්ෂකත්ව තහවුරුව පමණකි. මෙම හේතූන් නිසා සුදුසු යෝජනාවලියක් හෝ ගිවිසුමක් නොමැතිව, නිසි අධ්‍යයනයක් හෝ සාකච්ඡාවකින් තොරව අප රටේ මිලියන 22ක ජනතාව වෙත හිමි කර ගත හැකිව තිබූ ණය සහන වාසිය මග හැරී ගොස් ඇත.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව ආර්ථික අවපාතය බවත්, එය නිවැරදි කර ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව එසේ දේශපාලනීකරණය හරහා අගතිගාමී ලෙස අවසන් වූ බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

ජාජබ සාමාජිකයන් කියන පරිදි වචන වලින් තොරන් ගැසීමෙන් හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිදි බදු වැඩි කර, රට විකුණා මෙම ආර්ථික අභියෝගය ජය ගැනීමට නොහැකියි. මෙම විශාල ණය මුදල ගෙවා දැමීම මෙන්ම ජනතාව ණය උගුලෙන් මුදවා ගැනීම යන කරුණු දෙකම පාලකයා හමුවේ ඇති සුවිශාල වගකීමකි. එය ඉටු කිරීමට නම් වඩා ප්‍රායෝගික, ක්‍රමානුකූල හා සංවිධානාත්මක ආර්ථික න්‍යායයන් අපි විසින් අනුගමනය කළ යුතු වන්නෙමු. විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය හා විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන විනිමය ප්‍රමාණය වෙනුවෙන් වෙහෙසීමට වඩා අපනයන ප්‍රමාණය වැඩි කරගැනීමට සැළසුම් සකස් කළ යුතු බවත් මරික්කාර් මහතා සඳහන් කළේය

– Media unit

Related posts

නව කතානායක ගලප්පත්ති…

Shiran Viraj

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..

Shiran Viraj