33.9 C
Colombo
January 27, 2026
Local NewsNews

සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

සබරගමුව පළාතේ සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල මෑතකදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිබඳව සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

පසුගිය 16 වනදා සූර්යකන්ද පොලිස් වසමේ වැලි කුඹුර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී, තීන්ත බකට් එකක වගා කර තිබූ අඩි දෙකක් පමණ උසැති ගංජා පැල දෙකක් සමඟ ජනිදු සඳුවන් උදයංග නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම භූමිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට අයත් බවට ප්‍රචාරය වුවද, පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ එම ඉඩම මන්ත්‍රීවරයාට හෝ ඔහුගේ බිරිඳට අයත් නොවන බවයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 3,000ක දඩයක් ගෙවා නිදහස් වී ඇති අතර, ඔහු එම ඉඩමේ කාලයක සිට වගා කටයුතු සිදුකරන බව අනාවරණය වී ඇත.

මෙම වැටලීමට සම්බන්ධ වූ සුසන්ත හෙට්ටියාරච්චි නමැති පොලිස් කොස්තාපල්වරයා, පසුගිය 20 වනදා රාත්‍රියේ තමාට මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් පහර දී යතුරුපැදිය පැහැරගත් බවට 119 හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් කර තිබුණි. කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා විසින් ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, බීමත්ව සිටි අදාළ නිලධාරියා තම වාහනය අසලට පැමිණ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තර්ජනය කළ බවයි.

පොලිස් නිලධාරියාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී බරපතළ පරස්පරතා හෙළි වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. පැහැරගත් බව කියන යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේම තිබී සොයාගෙන ඇති අතර, නිලධාරියාට පහර දී ඇති බවට කළ ප්‍රකාශය අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් ප්‍රතික්ෂේප වී ඇත. මෙම නිලධාරියා අසත්‍ය පැමිණිල්ලක් කර ඇත්තේ යම් පිරිසකගේ උසිගැන්වීමක් මත ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකය.

මන්ත්‍රීවරයාට මඩ ගැසීමේ අරමුණින් හෝ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කළේ දැයි පොලිසිය සැක පළ කරයි. ඒ අනුව, අසත්‍ය පැමිණිල්ලක් කිරීම සහ අපරාධමය බියගැන්වීම් යන චෝදනා යටතේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටියාරච්චි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related posts

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Shiran Viraj

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

Shiran Viraj

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj