February 1, 2026
Local NewsNews

ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනා

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2500 කට අධික ප්‍රතික්‍රියක (Reagents) මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ වංචාව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාර දෙමින් ඉල්ලා සිටින්නේ, මෙම සිදුවීමට අදාළ නඩු භාණ්ඩ විනාශ කිරීමට සහ වංචාව යට ගැසීමට සැලසුම් කරන සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසයි.

2022-2025 කාලසීමාව තුළ සිදුව ඇති මෙම ගනුදෙනුවේදී, ඇතැම් ප්‍රතික්‍රියක මිලදී ගන්නා විටත් කල් ඉකුත්ව තිබූ බව පසුගිය ජුනි මාසයේ නිකුත් වූ විගණකාධිපති වාර්තාවෙන් තහවුරු වී ඇත. මෙම දූෂණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබියදී, අදාළ ප්‍රශ්නගත ප්‍රතික්‍රියක යළි මුල් සමාගමට ලබා දී ඒ වෙනුවට අලුත් ප්‍රතික්‍රියක ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මෙය පැහැදිලිවම සාක්ෂි විනාශ කිරීමක් බවත්, රටේ නීතිය අවභාවිත කිරීමක් බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රශ්නගත නිලධාරීන් වත්මන් දේශපාලන අධිකාරිය විසින් දිගින් දිගටම ආරක්ෂා කරමින් සිටින බවට ද මෙහිදී චෝදනා එල්ල විය. ජාතික රෝහලේ රසායනාගාර උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී රජයට විශාල මූල්‍ය අලාභයක් සිදු කර ඇති බවට එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද මීට පෙර කරුණු අනාවරණය කර තිබුණි. මෙම වංචාවට සම්බන්ධ හිටපු අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසට එරෙහිව ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

Related posts

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

Shiran Viraj