February 16, 2026
Local NewsNews

හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්

හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද, දැනට අධිකරණ අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 2025-2029 දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, අමාත්‍යවරයා ඊයේ (12) එම පරිශ්‍රයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ යටතේ කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ග්‍රෙගරි පාර, බෞද්ධාලෝක මාවත, විජේරාම පාර සහ ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ස්ථානයන්හි පිහිටි නිල නිවාස හතරක් තාවකාලික පදනමින් අධිකරණ පවත්වාගෙන යාම සඳහා වෙන් කර ඇත. ඉන් බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවාසය තුළ මේ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර, එහි අඩුපාඩු සපුරාලීමට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මීට අමතරව අලුත්කඩේ අධිකරණ පියස සංකීර්ණයේ ද නිරීක්ෂණයක නිරත වූ අමාත්‍යවරයා, එහි මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ නව මහාධිකරණ පහක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බැලීය. උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ නිම වීමත් සමඟ පුරප්පාඩු වූ එම ගොඩනැගිලි කොටස් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා උපරිමයෙන් භාවිත කිරීමට රජය අපේක්ෂා කරයි.

Related posts

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…

Shiran Viraj

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.

Shiran Viraj

සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්

Shiran Viraj