රට තුළ ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුර මහතා පවසයි. විශේෂ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉතිහාසය පුරා ජනතාව රැවටූ බලවේග නැවත වරක් කටකතා පතුරුවමින් ජනමතය අවුල් කිරීමට කටයුතු කරන බවයි.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව නිල වශයෙන් තහවුරු කර ඇති පසුබිමක, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා ජනතාව පෝලිම්වලට දක්කාගෙන යන බව ඔහු අවධාරණය කළේය. දැනට දක්නට ලැබෙන පෝලිම් පවා මෙලෙස කෘතිමව නිර්මාණය කරන ලද ඒවා බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් අඛණ්ඩව ලැබෙන බැවින්, අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. රජය මැදිහත් වී ඉන්ධන සැපයුම විධිමත්ව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.