28.4 C
Colombo
May 25, 2026
Local NewsNews

වලපනේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට ගිය ලංගම බස් රථයක් රියදුරුගේ ක්ෂණික මැදිහත් වීමෙන් බේරෙයි

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවක, එහි රියදුරු පෑ වික්‍රමාන්විත ක්‍රියාකලාපය හේතුවෙන් මහා විනාශයක් වැළකී ගොස් තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ අබලන් මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇත. වලපනේ ඩිපෝවේ ධාවන කළමනාකාර බණ්ඩාර මහතා සඳහන් කළේ, බස් රථය ප්‍රපාතයට පෙරළීමට ගිය මොහොතේ රියදුරු ක්ෂණිකව අත්තිරිංග (Handbrake) භාවිතා කර එය නතර කර ගැනීමට සමත් වූ බවයි.

අනතුරට මුහුණ දුන් බස් රථයේ රියදුරු වන 48 හැවිරිදි සමන් තිලකසිරි මහතා ප්‍රකාශ කළේ, බස් රථය ධාවනය වන අතරතුර වංගුවක් සහිත ස්ථානයකදී විශාල ශබ්දයක් සමඟ එහි “ජොයින්ට්” එක කැඩී ගිය බවයි. එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, රියදුරුගේ ක්ෂණික තීරණය නිසා ඔවුන් සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත විය. බස් රථය නතර වූ ස්ථානයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයේ රුපහ මාර්ගය පෙනෙන බවත්, මගීන් ආරක්ෂිතව බස් රථයෙන් ඉවත් කළ පසු ඩිපෝ නිලධාරීන් පැමිණ අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කළ බවත් ඔහු පැවසීය.

වසර 15ක් පුරා වලපනේ ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කරන තිලකසිරි මහතා, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. සුළි කුණාටුවෙන් නාය ගිය මාර්ග තවමත් නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර නොමැති වීම නිසා එවැනි මාර්ගවල බස් රථ ධාවනය කිරීම රියදුරන්ට දැඩි අභියෝගයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. බස් රථය ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වී තිබුණි.

Related posts

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj

‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings

Shiran Viraj

රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපති

Shiran Viraj