27.9 C
Colombo
May 19, 2026
BusinessBusiness NewsNews

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත.

මෙරට ඩෙන්මාර්ක් තානාපති ලෙස පත් වූ ෆ්‍රෙඩී ස්වේන් (Freddy Svane) මහතා (03) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඩෙන්මාර්කය තුළ විශාල උනන්දුවක් පවතින බව තානාපති ස්වේන් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පැවසීය.

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අගය එක්කළ නිෂ්පාදනවලට අමතරව පුනර්ජනනීය බලශක්තිය ගවේෂණය කළ හැකි තවත් අංශයක් බව ඔහු මෙම හමුවේ දී පෙන්වා දුන්නේය.

2030 වන විට රටේ බලශක්ති පරිභෝජනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස තානාපතිවරයාට මෙහි දී කරුණු දැක්වූහ.

ඩෙන්මාර්ක ආයෝජකයින් ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහි දී තානාපතිවරයා හමුවේ පැවසීය. දැනටමත් ඩෙන්මාර්කයේ සිට ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා විශ්වාසය පළ කළේය.

තානාපති ස්වේන් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර නේවාසිකව සිටින අතර ශ්‍රී ලංකාවේ තනාපති කටයුතු සඳහා ඔහු පත්වීම් ලද දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක තානාපතිවරයා ලෙසද ස්වේන් මහතා කටයුතු කළේය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

Shiran Viraj

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

Shiran Viraj

දිරියෙන් ජයගත් පහේ හපනා

Shiran Viraj