30 C
Colombo
July 23, 2026
Local NewsNews

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතී. එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීහු මෙහිදී කියා සිටියහ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටිති. එසේ වුව ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ. සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

ජනාධිපතිතුමා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පැවසූහ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වත්හු, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව ද අවධාරණය කළහ.

අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම, පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් ජනාධිපතිතුමා සමග පැවති මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහබැංකු අධිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති ප්‍රධාන උපදේශකතුමා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

‘ගෝඨාභයට දිනන්න රට අනාරක්‍ෂිත කල යුතුයි..’- Channel4 හෙලිදරවුව මෙන්න…

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Shiran Viraj