February 1, 2026
Local NewsNews

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

පෞද්ගලික මට්ටමෙන් වාහන ආනයනය කිරීමට ඉඩදීම ගැටලුවක් නොවන නමුත් එම වාහන විකිණීමට අවස්ථාව නොදිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්විගේ මහතා පැවැසුවේය.

පෞද්ගලික මට්ටමින් වාහන ආනයන කරන්නන් එම කාර්, වෑන්, ලොරි හා බස් පාරිභෝගිකයාට විකිණුවහොත් ආනයන ව්‍යාපාරයේ සිටින වෙළෙන්දන් හැටියට තම පාර්ශ්වයට එය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු කියයි.

ඉකුත් වසර 5ක් පුරා නිත්‍ය වාහන ආනයනය කරන්නන් බොහෝ අසරණව ව්‍යාපාර කිරීමට නොහැකිව සිටි බවත් බැංකු සමඟ ණය ප්‍රශ්න වලට මැදි වී සිටින බවත් ඔහු කීවේය.

එබැවින් එම නිත්‍ය වාහන ආනයන ව්‍යාපාරිකයන්ට අවුරුදු 2ක් හෝ ව්‍යාපාර කරගෙන යෑමට බලපත්‍රයක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු කීවේය.

ඩොලර් සංචිත සීමා සහිත බැවින් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.

ඊළඟ වසරේ සිට වාහන ආනයනය කරන විට අවුරුදු 7ක් පරණ කාර් සහ වෑන්, අවුරුදු 10ක් පරණ ලොරි, අවුරුදු 3ක් පරණ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ඉඩ දෙන ලෙසත් වාහන ධාවනය කළ සැතපුම් ප්‍රමාණය තක්සේරුවක් කිරීමට ක්‍රමයක් සෑදීමට යෝජනා කරන බවත් ඔහු පැවැසීය.

වාහන ආනයන සම්බන්ධ තාක්ෂණික කාරණා පිළිබඳව කතා කරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආනයන කරුවන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී මෙම ප්‍රධාන යෝජනා තම පාර්ශ්වයෙන් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා පැවැසුවේය.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස තමා සහ තම ලේකම්වරයාත්, අලුත් වාහන ආනයන කරුවන්ගේ සංගමය, වාහන එකලස් කිරීමේ සංගමය මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා කීවේය.

වාහන ආනයනය සහ එහි ප්‍රතිපත්ති, තාක්ෂණික කාරණා සිදුවන ආකාරය ගැන රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.
පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන මෝටර් රථ සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහනවලට ආනයන වෙළෙඳ පොළ විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18දා) විශේෂ ප්‍රකාශයක් කළේය.

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද ජනාධිපතිවරයා කීවේය.

ඒ අනුව කාණ්ඩ තුනක් යටතේ වාහන වෙළෙඳපොළ නිදහස් කිරීමට රජය කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

– සචිත‍්‍ර පෙරේරා

Related posts

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj

ආශු මාරසිංහට තානාපති ධුරයක්…?

Shiran Viraj