26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

වත්මන් රජයට තරුණයන් අවශ්‍ය වන්නේ ඔවුන් විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ වැඩකටයුතු සඳහා පමණක් බවත්, බලය ලැබුණු පසු ඔවුන්ව ගසා පන්නා දමන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතර, කිරින්ද පුහුල්වැල්ලේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මැතිවරණ සමයේදී තරුණයන්ගෙන් වැඩ ගත් රජය, දැන් ඔවුන්ගේ වෘත්තීය ගැටලු විසඳීම මගහරිමින් සිටින බවයි. විශේෂයෙන් ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින සුදුසුකම්ලත් තරුණ තරුණියන් පාරට ඇද දැමීම රජයේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බව ඔහු මෙහිදී විවේචනය කළේය.

යහපාලන සමයේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මුදල් ලබාගත් පිරිස් අද එය ප්‍රසිද්ධියේ පිළිගනිමින් සිටින බවත්, එදා කී බොරු අද සැබෑ කිරීමට රජය විසින් පොලිසිය, අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව අවභාවිත කරන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය. රජයේ දූෂණ හා අක්‍රමිකතා වසා ගැනීමට ජනතාවගේ බදු මුදල් වැය කරමින් පුද්ගල චරිත ඝාතනය කිරීම සැබෑ සම්පත් අවභාවිතයක් බව ඔහු පෙන්වා දුන්නේය. නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීම මගින් සිදු වූ වංචාව සහ ආපදා සහන ලෙස ලබා දුන් චෙක්පත් අගරු වීම වැනි සිද්ධීන් හරහා රජයේ අසාර්ථකත්වය මනාව පිළිඹිබු වන බව ද ඔහු පැවසීය.

රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු කරන අත්අඩංගුවට ගැනීම් සහ දේශපාලන ස්ථාන මාරුවීම් හේතුවෙන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අකර්මණ්‍ය වී ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට බිය වන තත්ත්වයක් නිර්මාණය කිරීම තුළින් රටේ ඉදිරි ගමන අඩාල වන බවත්, රජය සිදු කරන මෙම වැරදි පිළිබඳව යම් දිනක ඔවුන්ට වගකීමට සිදු වන බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව රවටමින් බොරුව මත පදනම් වූ දේශපාලනයක් කිරීමට වත්මන් රජයට වැඩි කාලයක් ඉතිරිව නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

Related posts

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Shiran Viraj