July 1, 2026
Local NewsNews

නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයින් කාමර ඉදිකිරීමට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණ ක්‍රියාමාර්ගයකට

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණ භූමිය මධ්‍යයේ ලයින් කාමර ආකෘතියේ තාවකාලික නිවාස පෙළක් ඉදිකිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නුවරඑළිය සුරැකීමේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය ඇතුළු සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කරයි. මෙම ඉදිකිරීම් වහාම නවත්වන ලෙස ඉල්ලා දිස්ත්‍රික් ලේකම්වරිය වෙත සන්දේශයක් භාර දී තිබුණද, තවදුරටත් එහි වැඩකටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණයට එළඹි බව ඔවුහු මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන් වන දිනේෂ් ලංකා ගීගනගේ, නාලක දිනේෂ් රත්නායක සහ ගයාන් චතුරංග විජයබණ්ඩාර යන මහත්වරුන් පෙන්වා දුන්නේ, අදාළ ඉදිකිරීම් සිදුවන ප්‍රදේශය ක්‍රීඩා කටයුතුවලින් බැහැර කොටසක් ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කිරීම වගකීම් විරහිත බවයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පාලන සමයේ රුපියල් කෝටි 500කට ආසන්න ප්‍රතිපාදන වැය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජල අපවහන පද්ධති පවා සකස් කර සංවර්ධනය කළේ දැනට මෙම නිවාස ඉදිකරන භූමිය බව ඔවුහු අවධාරණය කළහ. ඉන් අනතුරුව පත් වූ ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය සඳහා ගෙනා උපකරණ දිරාපත් වූ බවට ද ඔවුහු චෝදනා කළහ.

ප්‍රධාන ක්‍රීඩාංගණයේ සුවිශේෂී තරඟාවලි පවත්වන අවස්ථාවලදී පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සඳහා භාවිතා කරන්නේ මෙම භූමි කොටස බවත්, දැනටත් එහි දරුවන් ක්‍රීඩා කරන බවත් නියෝජිතයෝ පැවසූහ. ක්‍රීඩා පිටිය මධ්‍යයේ මෙවැනි පදිංචිකිරීම් සිදු කිරීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, විශේෂයෙන්ම පාසල් දැරියන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බව පෙන්වා දුන් ඔවුහු, ආපදාවට ලක්වූවන්ට නිවාස ලබාදීමට තමන් විරුද්ධ නොවන නමුත් එය සංචාරක ආකර්ෂණයට හානි නොවන පරිදි විකල්ප භූමියක සිදු කළ යුතු බව ප්‍රකාශ කළහ.

ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකායේ සභාපතිනී සකුන්තිකා මැණිකේ, තිළිණි රසාන්ධිකා, නෙළුම් වික්‍රමසිංහ සහ ප්‍රින්ස්ලි ඩේවිඩ් යන මහත්ම මහත්මීන් අදහස් දක්වමින් කියා සිටියේ, නායයෑම් අවදානමකට ලක්ව සිටින මෙම පිරිස වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව විසින් ‘හයිලෑන්ඩ්ස්’ ප්‍රදේශයෙන් ඉඩමක් මීට පෙර වෙන්කර දී තිබූ බවයි. එය පසෙකලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මැද මෙවැනි මුඩුක්කු සංස්කෘතියක් ඇති කිරීමෙන් ඉදිරියේදී විවිධ සමාජ විරෝධී සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීමේ අවදානමක් පවතින බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ.

මේ පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, මෙය වසර දෙකක කාලයකට පමණක් සීමා වූ තාවකාලික ඉදිකිරීමක් බවයි. දැනට නුවරඑළිය ගෘහස්ථ ක්‍රීඩාංගණය තුළ රැඳී සිටින අවතැන් වූ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය ඇතුළු ගැටලුවලට විසඳුමක් ලෙස දිස්ත්‍රික් ආපදා කමිටුවේ තීරණයකට අනුව මෙම පියවර ගත් බව ඔහු පැවසීය. වතු අධිකාරිය සමඟ සාකච්ඡා කර අදාළ ජනතාව ස්ථිරව පදිංචි කරවීම සඳහා ඉඩම් රජයට පවරාගැනීමේ කටයුතු මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතින බවත්, ස්ථිර නිවාස ඉදිකළ වහාම ක්‍රීඩාංගණයේ පවතින තාවකාලික කුටි කඩිනමින් ඉවත් කිරීමට රජයක් ලෙස වගකීමෙන් බැඳී සිටින බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

Shiran Viraj

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්

Shiran Viraj