April 10, 2026
Local NewsNewsPolitical

විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඇති විය හැකි බරපතල බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට පෙර දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ප්‍රමිතිය බාල වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. මැයි මාසයේදී මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මුහුද රළු වීම නිසා ගල්අඟුරු ගොඩබෑම දුෂ්කර වන බැවින්, ඊට පෙර ප්‍රමාණවත් තොග සපයා ගැනීමට නොහැකි වුවහොත් දැවැන්ත විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවයි.

දකුණු අප්‍රිකාවෙන් මෙට්‍රික් ටොන් 60,000ක් රැගෙන ආ පළමු නෞකාවේ සාම්පල පරීක්ෂාවෙන් ඒවායේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇති අතර, ඒ හේතුවෙන් රජය එම නෞකාවට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් නියම කර ඇත. අදාළ සැපයුම්කරු යටතේ තවත් නෞකා 23ක් මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර, ඉන් 9ක් මේ වන විටත් ගමන් ආරම්භ කර තිබේ. පළමු නෞකාව අසාර්ථක වීම නිසා සෙසු නෞකාවල ගල්අඟුරු ද දැඩි ප්‍රමිති පරීක්ෂාවකට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල දූෂණ චෝදනා එල්ල වෙමින් පවතින අතර, ඉන්දියානු සමාගමකට වාසි සැලසෙන පරිදි ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කර ඇති බවට වාර්තා වේ. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් දින 42ක් වන ටෙන්ඩර් කාලසීමාව දින 21ක් දක්වා කෙටි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විවේචන එල්ල වී ඇති අතර, මෙම ගනුදෙනුවට අදාළ සියලු ලේඛන වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති. හදිසි මිලදී ගැනීම්වලට අමතරව, ගල්අඟුරු සැපයුමේ දිගුකාලීන අඛණ්ඩතාව සහතික කිරීම සඳහා නව කාලීන ටෙන්ඩරයක් කැඳවීමට ද රජය මේ වන විට තීරණය කර ඇත.

Related posts

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?

Shiran Viraj

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj