ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන්, නීතිඥයන් සහ ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
අදාළ සැකකරු රැඳවුම් භාරයේ පසුවන සමයේ ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයීම, පරීක්ෂණ කටයුතු ප්‍රමුඛතාවයෙන් බැහැර කර අඩාල කිරීම සහ විවිධ අනවශ්‍ය වරප්‍රසාද මෙන්ම ආහාර පාන ලබාදීම වෙනුවෙන් මෙම මහා පරිමාණ මුදල් හුවමාරු සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇත. එමෙන්ම, සැකකරුට ජීවිත තර්ජන පවතින බව පවසමින් ඔහුව රැඳවුම් නියෝගවලින් නිදහස් කර බන්ධනාගාරගත කිරීමට ගෙන තිබූ උත්සාහයන් පිටුපස ද මෙම දූෂිත ගනුදෙනු පවතින බව විමර්ශන නිලධාරීන් හඳුනාගෙන තිබේ.
රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සංවිධානාත්මක දූෂණ ජාලය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
මෙම මුදල් වංචාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම පහළ ශ්‍රේණිවල නිලධාරීන් ද සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබේ. මීට අමතරව පසුගිය රජය සමයේ සිටි ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු කෙරෙහි ද විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව ඇත.
මෙම දූෂිත අල්ලස් ජාලය මෙහෙයවූ සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් පිරිසක් ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.