September 19, 2026
Local NewsNews

අංගම්පොර තහනම ඉවතට.. කැබිනට් අනුමැතිය..

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම ට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ට අනුමැතිය හිමිවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් ලෙස අංගම් සටන් ශිල්පයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. රාවණා යුගයේ සිට ම මෙකී සටන් කලාව පැවත එන බවත්‍, පසුකාලීනව රජවරුන් විසින් යුද්ධවලදී මෙකී සටන් ශිල්පය යොදා ගෙන ඇති බවත් ජනප්‍රවාදවලින් කියැවේ.

ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ මෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක් කර තිබිණි. ඉන් පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත්, පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබද ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම මෙරට පැවති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන් ම සංස්කෘතික උරුමයක් ද වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව මේ යටතේ ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇත. මෑත කාලයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව විවිධ අමාත්‍යාංශ මගින් මෙම ශිල්පය ප්‍රවර්ධනය කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙකී වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු විය. ඒ සදහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම‍. සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම‍. ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග එක්ව කටයුතු කිරීම හා එමඟින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම යන කරුණු මූලික අදියරේදී ක්‍රීයාත්මක කිරීමට නියමිතය.

– ප්‍රසන්න අධිකාරි

Related posts

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Shiran Viraj

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

Shiran Viraj

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Shiran Viraj