28.4 C
Colombo
July 10, 2026
Local NewsNews

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ තාක්ෂණික හේතූන් මත බිල්පත් ගෙවීමට නොහැකි වූ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

මෙරට දළ ජාතික නිෂ්පාදනයට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය 8% -9% දායකත්වයක් ලබා දෙයි. මෙරට ජනගහනයෙන් 20%ක් පමණ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනු ලබයි. පසුගිය කොවිඩ් හා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කඩා වැටුණ ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කමිටු 05ක් ක්‍රියාත්මක විය. රාජ්‍ය නිලධාරින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් එම කමිටු සමන්විත විය.

එම කමිටු හරහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා යෝජනා 50ක් ඉදිරිපත් වූ අතර එයින් ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර 14ක් පිළිබඳව රජයේ අවධානය යොමුවිය. එම කරුණු ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා නව ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

මේ අතර ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මේ වනවිට නැවත ආරම්භ කර තිබේ. ජාතික ඉදිකිරීම්  සංගමයේ ඉල්ලීම පරිදි 2020 ට පෙර ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි වූ අයටද නැවත ලියාපදිංචිය ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇත. ඒ අනුව කුඩා හා මධ්‍යම කොන්ත්‍රාත්කරුවන්ගේ ( C4 – C9 ) වසර 03ක ප්‍රමාද ගාස්තුද නිදහස් කර ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි. මේ නිසා ඕනෑම කොන්ත්‍රාත්කරුවකුට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පසුගිය වසර 5 ඇතුලත පෙදරේරු‚  වඩු කාර්මික‚  නම්බි නැවුම්කරු‚  ඡලනල කාර්මික‚  හා පිඟන් ගඩොල් ඇතුරම්කරු  යන ක්ෂේත්‍ර  යටතේ  ඉදිකිරීම් ශිල්පීන්  7,000 කට පමණ NVQ සහතිකය ලබා දීමට පියවර ගෙන තිබේ.  ඒ සඳහා වැය කළ මුදල රු.  මිලියන 485 කි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්ප කාණ්ඩ 26ක් යටතේ  NVQ සුදුසුකම් නිපුණ ශිල්පීන්  සඳහා හැදුනුම්පත් ලබාදීමේ  වැඩසටහනද මේ වනවිට ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි. මේ වන විට  300 කට පමණ හැදුනුම්පත් ලබාදී අවසන්ය.

පසුගිය වසර 5 තුළදී අනුරාධපුර, ගල්කුලම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙහෙයුම් ශිල්පී විදුහල මගින් ඉදිකිරීම් යන්ත්‍ර ක්‍රියාකරුවන් (මෙහෙයුම් ශිල්පීන්) 1,386 දෙනෙකුද, බත්තරමුල්ල, පැලවත්ත ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය මගින් 814 දෙනෙකුද පුහුණු කර ක්ෂේත්‍ර ගත කර ඇති බවද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රදීප් අනුර කුමාර

Related posts

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

Shiran Viraj

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

Shiran Viraj