26.7 C
Colombo
September 18, 2026
NewsSportsSports News

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරඟ (Big Matches) සහ ඒ ආශ්‍රිත සැමරුම් උත්සව පැවැත්වෙන කාලසීමාව තුළ සිසුන්, ආදි සිසුන් සහ දෙමාපියන්ගේ විනයානුකූල හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇත. තමන් ඉගෙනුම ලබන පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි වගකීම් සහගතව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලු පාර්ශවයන්ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටියි.

මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය විසින් දැඩි නීති රීති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පොදු ස්ථානවල මහජනයාට පීඩා වන පරිදි හැසිරීම, මාර්ග අවහිර කිරීම සහ අනතුරුදායක ලෙස වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙස අවධාරණය කෙරේ. විශේෂයෙන්ම බලපත්‍ර නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම සහ රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලිස් මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් වන අතර, සමාජ මාධ්‍ය හරහා වෙනත් පාසල්වලට අපහාස කිරීම හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින ලෙස ද දන්වා ඇත.

මෙහිදී දෙමාපියන් සතු වගකීම පිළිබඳව ද පොලිසිය කරුණු පෙන්වා දී තිබේ. තම දරුවන් සහභාගී වන උත්සව, ඔවුන් ගැවසෙන ස්ථාන සහ නිවසට පැමිණෙන වේලාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, රථ පෙළපාලි සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් දෙමාපියන්ට උපදෙස් දී ඇත. යම් හෙයකින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළවලට හානි කිරීම හෝ සාමය කඩ කිරීම වැනි ක්‍රියාවන් නිරීක්ෂණය වුවහොත්, කිසිදු තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Shiran Viraj

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj